මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

නොවැම්බර් 29, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ නාවික විධානය විසින් වියළි කහ කිලෝ 1372 ක් සහ ග්‍රෑම් 300 ක් හා ඉන්දියානු ජාතිකයින් 05 දෙනෙකු පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
තවද, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) ආසන්නයේ  ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී මෙම සැකකටයුතු ඉන්දීය ඩව් (dhow) යාත්‍රාව හඳුනා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත .

එම කහ තොගය  ගෝනි 39 අසුරා  යාත්‍රාවේ පටවා ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුම, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකර ඇත.

නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත. එමෙන්ම පවතින වසංගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනා (05) සහ ඩව් (dhow) යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි .