මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් සුවය ලැබූවන් ගණන 14,409 දක්වා ඉහලට

දෙසැම්බර් 02, 2020

අද (දෙසැම්බර් 02) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 545 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,531දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත් ආසාදිතයින් අතුරින් 04 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර,  294 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද , 130  ක් කළුතර දිස්ත්‍රික්කයෙන්  සහ  36  ක් මහනුවර  දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අය බව අද (දෙසැම්බර් 02) දින  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20,979 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 14,409 ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (01) PCR පරීක්‍ෂණ 7,463 ක් සිදුකර ඇති අතර අද (02)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 257 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, කටාර්හි  සිට පුද්ගලයින් 21 ක්, ඩුබායි  සිට පුද්ගලයින් 52 ක්  සහ මාලි   සිට 44 ක්   ඇතුළුව 117 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇත. තවද ඉන්දියාවේ සිට 70 දෙනෙකු අද දින පැමිණීමට නියමිතය. ඔවුන් සියලුදෙනාම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු ගණන 17,816 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක පුද්ගලයින් 6,461 ක් හුදෙකලා කර ඇති බව හා 6,593 දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 04 සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබේ.