උපදේශන නිලධාරින් 31 දෙනෙකු සඳහා ආරක්ෂක ලේකම් සුරතින් නව පත්වීම් ලිපි

දෙසැම්බර් 02, 2020

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන  සහ උපදේශන සහායක තනතුරු  සඳහා නිලධාරීන් 31 දෙනෙකුට නව පත්වීම් ලිපි, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් රාජගිරියේ පිහිටි එම  මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී අද (දෙසැම්බර් 02) දින පැවති උත්සවයකදී ලබා දෙන ලදි.

අනතුරුව ආරක්ෂක ලේකම්වරයා රැස්ව සිටි පිරිස  ඇමතූ අතර “මත්ද්‍රව්‍යය වලින්  තොර  සෞඛ්‍ය සම්පන්න සහ සුරක්‍ෂිත ජාතියක් ගොඩනැගීම” සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින් ඉටු කළ  කාර්‍යභාරය අගය කළේය.

රටේ අහිංසක තරුණ තරුණියන් නිවැරදි මගට යොමු කිරීම උදෙසා කැපවෙමින්  මුළු හදවතින්ම ඔවුන්ගේ  සේවාවන් සපයන  ලෙස  ආරක්ෂක ලේකම් නව පත්වීම ලැබූ  නිලධාරින්ගෙන්  ඉල්ලා සිටියේය.

මෙම උත්සවයට සමගාමීව විශේෂයෙන් මෙම COVID-19 වසංගත සමයේදී,රටේ මහජනතාවට අවශ්‍ය උපදේශනය, ප්‍රතිකාර පහසුකම් සහ පුනරුත්ථාපන යනාදි සහායන්  ලබා ගැනීම සඳහා  පහසුවන ලෙස 1927 යන හදිසි දුරකථන අංකය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින්  හදුන්වාදෙන ලදි.

දවසේ පැය 24 පුරාම මහජනතාවට මෙම සේවාව ලබා ගත හැකිය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර ලබා දීම සහ  පුනරුත්ථාපනය කිරීම තුලින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන ප්‍රමුඛතම රජයේ ආයතනය වන්නේ  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි.

කොළඹ, මහනුවර, ගාල්ල සහ ගම්පහ  දිස්ත්‍රික්කවලට  වැඩි අවධානයක් යොමු කරමින් රට පුරා මෙම මණ්ඩලය විසින්  ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් පවත්වා ගෙන යනු  ලැබේ. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා උපදේශන සේවා සහ නේවාසික ප්‍රතිකාර පහසුකම් සපයනු ලැබේ.

මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙළගෙදර , ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති වීරසිංහ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රානී සේනානායක, මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ඥානදාස පෙරේරා, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින් පිරිසක්ද  සහභාගී වූහ.