රුසියානු යුද නෞකා තුන අද ත්‍රිකුණාමලයෙන් පිටත් වීමට නියමිතයි

දෙසැම්බර් 03, 2020

ත්‍රිකුණාමල වරායට පැමිණි රුසියානු යුද නෞකා තුන අද (දෙසැම්බර් 3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ප්‍රහාරක  මිසයිල යාත්‍රා  වර්ගයේ “වේරියග්” යුද නෞකාව (Guided missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද ‍නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea tanker “Pechenga”) යන යුද නෞකා ත්‍රිත්වය  නොවැම්බර් 30 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ මෙම යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව සිදු කළ බව  ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම නෞකා තුන අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සමග මෙහෙයුම් අභ්‍යාසයක නිරත වෙමිනි.