බුරවී සුලිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවේ- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දෙසැම්බර් 03, 2020

අද (දෙසැම්බර් 03) දින දහවල් නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ  සඳහන් වූයේ "බුරවී" සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

උතුර, උතුරු-මැද  හා වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තාව තවදුරටත් පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල මද  වැසි   ඇතිවිය හැකිය.

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට උදෑසන වනතුරු  ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

වෙනත් මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට ද සෝදිසියෙන් සිටින ලෙස  උපදෙස් දෙනු ලැබේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ.

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ   දළ රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

මිගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි .