බුරවී සුලිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩුවේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දෙසැම්බර් 04, 2020

අද (දෙසැම්බර් 04) දින උදෑසන නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ  සඳහන් වන්නේ  “බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී පවතින අතර එය  මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින  බවයි.

මෙම කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන අතර එහි බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ වයඹපළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව එහි තවදුරටත් සඳහන්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50) පමණ දක්වා වන සුළං ඇති විය හැක.

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියට අනුව, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව්   දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (55-65) පමණ වේ. විටින් විට පැ.කි.මී. 75 දක්වා වැඩිවිය හැක.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත   දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර  සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියේ සඳහන් වේ.