ඊයේ දිනට (06) PCR පරීක්‍ෂණ 14,125 ක්

දෙසැම්බර් 07, 2020

අද (දෙසැම්බර් 07) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 649 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,876 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත්  ආසාදිතයින් අතරින් එක් අයෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයකු වන අතර අනෙක් ආසාදිතයින්  295 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 87 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ 51 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වශයෙන්වන  බව අද (දෙසැම්බර් 07) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24,318 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 17,052 ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (06) PCR පරීක්‍ෂණ 14,125 ක් සිදුකර ඇති අතර අද (06)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 370 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, කටාර්හි  සිට පුද්ගලයින් 50 ක් සහ සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇත. ඔවුන් සියලුදෙනාම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු ගණන 20,459  ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදා මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක පුද්ගලයින් 6,879 ක් හුදෙකලා කර ඇති බව හා 7,277 දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ තුනක්   සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් තිබේ.