ජාතික ශිෂ්‍යභට බලකායට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමට පියවර
- ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 14, 2022
  • ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍යභට උපහාර උළෙල ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශිෂ්‍යභටයින් සැම විටම තම උසස් බව රැකගෙන ජයග්‍රහණය සහ පරාජය යහපත් මනසින් බාර ගැනීමට හැකි විය යුතු බව ආරක්‍ෂක සේවා විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩවල දස්කම් අගයමින් ආරක්‍ෂක ලේකම් කියා සිටියේ ය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මේ අදහස් පළ කළේ අද (දෙසැම්බර් 14) කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍යභට උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අනාවරණ කළේ ජාතික ශිෂ්‍යභට බලකායට ජනාධිපති වර්ණ පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවය. විද්‍යාලයේ ශිෂ්‍යභටයන්ගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන බවත් මීළඟ වාර්ෂික කඳවුරේදී වඩාත් හොඳින් කඳවුරු ඇගයීමට මුහුණ දී හොඳම කණ්ඩායම් 5 තුළට පැමිණෙන ලෙසත් ඔහු ශිෂ්‍යභටයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර (විශ්‍රාමික) සහ විදුහල්පති බී.ඒ. අබේරත්න විසින් ආරක්‍ෂක ලේකම්වරයා පාසලට පැමිණි අවස්ථාවේදී පිළිගනු ලැබීය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් පාසලේ ජාතික ශිෂ්‍යභට බළකායේ ශිෂ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයින්ට ඔවුන්ගේ ජයග්‍රහණ අගයමින් සහතිකපත් සහ පදක්කම් ද ප්‍රදානය කරන ලදී.

මෙවර ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික කඳවුරේදී පාසලේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයන්ගේ ජයග්‍රහණ ඇගයීම සඳහා උපහාර උළෙල පැවැත්විණි. ඔවුන්ගේ ඇගයීම් කාණ්ඩ යටතේ ජ්‍යෙෂ්ඨ ඛණ්ඩය 14 වැනි ස්ථානයට පත් වූ අතර කණිෂ්ඨ ඛණ්ඩය 8 වැනි ස්ථානයට පත් විය.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ ජාතික ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්, පාසැල් කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ දෙමාපියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

සිසුන් 172 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 8 දෙනෙකුගෙන් යුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් 2007 ජනවාරි මාසයේදී විවෘත කරන ලද ආරක්‍ෂක සේවා විද්‍යාලය මේ වන විට සිසුන් 3450 ක් පමණ දක්වා සංවර්ධනය වී ඇත. 2020 දී විද්‍යාලයේ පළමු සිසුන් කණ්ඩායම අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටියහ.

ජාතික පාසලක් වන ආරක්‍ෂක සේවා විද්‍යාලය ප්‍රධාන වශයෙන්ම පිහිටුවන ලද්දේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් තම දරුවන් ජනප්‍රිය පාසල්වලට පාසල් ඇතුළත් කර ගැනීමේදී මුහුණ දෙන අභියෝග ලිහිල් කිරීම සඳහා ය.