නාවික හමුදාව පෙරළුණු යාත්‍රාවක සිටි ධීවරයින් බේරා ගනී

දෙසැම්බර් 15, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදු ප්‍රදේශයේදී පෙරළී ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු බේරාගෙන ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කොළඹ සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද දැනුම්දීමකට  අනුව අඟහරුවාදා (දෙසැම්බර් 13) මෙම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ බව නාවික හමුදාව සඳහන් කරයි.
 
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් වන P 436, දේශීය ධීවර යාත්‍රාවක සහය ඇතිව, දකුණු මුහුදු ප්‍රදේශයේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් (කිලෝමීටර් 333) පමණ ඔබ්බෙන් පෙරළී ගිය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරා ගන්නා ලදී. පසුගිය මස (නොවැ 22) ධීවර කටයුතු සඳහා ගාල්ලේ සිට පිටත්ව ගිය ධීවරයින් හය දෙනෙකු (6) රැගත් මෙම ධීවර යාත්‍රාව අයහපත් කාලගුණය හේතුවෙන් පෙරළී ගොස් ඇත.

බේරාගත් ධීවරයින් ගොඩබිමට ගෙන ඒමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව එහි සඳහන් වේ.

අතුරුදන් වූ අනෙක් ධීවරයින් තිදෙනා සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සිදු කරන අතරවාරයේදී නාවික හමුදා නිලධාරීන් විසින් මළ සිරුරක් සොයා ගෙන ඇති අතර, එය අතුරුදන් වූවන්ගෙන් එක් අයෙකු ලෙස බේරා ගත් ධීවරයින් හඳුනාගෙන නොමැති බව එහි සඳහන් වන අතර ගොඩගත් සිරුරද ගොඩබිමට ගෙනවිත් තිබුණි.