ආරක්‍ෂක ලේකම් ‘සෙනෙහස’ කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක

දෙසැම්බර් 15, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (12) කොළඹ මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවල සාමාජිකයින්ගේ  පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා, සිහින හා අභිලාෂයන් සඳහා රැකවරණය සහ සහාය දීමේ ප්‍රධාන අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද ආයතනයකි.

මෙම සංචාරය අතරතුරදී ජෙනරල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී කේන්ද්‍රයේ ප්‍රගතිය, වත්මන් ක්‍රියාකාරකම් සහ ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීය. ඒ අනුව සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ අධීක්‍ෂණ නිලධාරිනී සෝනියා කෝට්ටේගොඩ සහ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.කේ අලුදෙණිය විසින් මෙම රැස්වීමේදී කේන්ද්‍රයේ සංවර්ධනය පිළිබඳව දැනුවත් කරන ලදි.

කේන්ද්‍රයේ ළමුන් විසින් නර්තන අංගයක් ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ඔවුන් වෙත තිළිණ බෙදාදීමක් ද සිදුවිය.

ආබාධ සහිත දරුවන් සඳහා විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් ලබා දෙන අතර සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ළමා සංවර්ධනය පිළිබඳ ඉගෙනීමට සහ දැනුම ලබාගැනීමට තොරතුරු කේන්ද්‍රස්ථානයකි.

එවැනි දරුවන්ගේ සහජ හැකියාවන්, ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීම, තක්සේරු කිරීම, සායනික සහාය, දෙමාපියන්ගේ මඟපෙන්වීම සහ උපදේශනය ලබාදීම, පුද්ගල අනන්‍ය  පූර්ව වෘත්තීය පුහුණුවක් සහිත දරුවන්ගේ සංවර්ධනය සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම එහි අරමුණු කිහිපයකි.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.