‘Prabhakaran’s Ruthless Terrorism in the Guise of a Liberation’ කෘතිය එළිදැක්වීම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

දෙසැම්බර් 16, 2022

කීර්තිමත් ලේඛක ජේ.එෆ්. රංජිත් පෙරේරා විසින් රචිත ‘Prabhakaran’s Ruthless Terrorism in the Guise of a Liberation’ විද්‍යුත් ග්‍රන්ථය (E-Book) එළිදැක්වීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 15) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම් කෘතියේ ලේඛකයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
 
උත්සවයට පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් අමතමින් ආරක්‍ෂක ලේකම් කියා සිටියේ මෙවන් විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයක් ත්‍රස්තවාදයේ කුරිරු ග්‍රහණයෙන් අප මාතෘභූමිය මුදාගැනීම සඳහා කැප වූ ගෞරවනීය පිරිසක් ඉදිරියේ එළිදැක්වීමට ලැබීම තමාට ලැබුණු දුර්ලභ අවස්ථාවක් සහ ඉමහත් ගෞරවයක් බවයි. ප්‍රභාකරන්ගේ අසත්‍ය වූ විමුක්තියක් සඳහා වූ ඊනියා ප්‍රයත්නය පිටුපස ඇති බොහෝ කථා, අසංඛ්‍යාත සිදුවීම් සහ නිරුවත් සත්‍ය දිගහැරෙන මෙම ප්‍රකාශනය එළිදැක්වීමට ලැබීම ඔහු ලද භාග්‍යයක් ලෙස සලකන බව ද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

එල්ටීටීඊ සංවිධානය විසින් මෙහෙයවන ලද ගැටුම පිළිබඳ නිවැරදි හා සත්‍ය තොරතුරු සහ රට තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම සඳහා ආරක්‍ෂක හමුදාවන් වල අති මහත් උත්සාහය නිරූපණය කරන ලේඛනගත සාක්‍ෂි ඇත්තේ ඉතා ස්වල්පයක් බව කතුවරයාගේ උත්සාහය අගය කරමින් ඔහු පැවසීය.
 
කීර්තිමත් කථික මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීය.
 
මෙම කෘතියේ කතුවරයා වන ජේ. එෆ්. රංජිත් පෙරේරා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, එම ක්‍ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වසර 40 කට වැඩි පළපුරුද්දක් සහිත නිලධාරියෙකි.
 
අද එළිදැක්වූ ග්‍රන්ථය ඇතුළුව පශ්චාත් යුද ගැටුම් සාහිත්‍ය ග්‍රන්ථ හයක් මෙම කතුවරයා විසින් රචනා කර ඇත.
 
ආරක්‍ෂක ලේකම් විසින් ජේ. එෆ්. රංජිත් පෙරේරා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වීය.
 
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.