අයිස් සහ හෙරොයින් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

දෙසැම්බර් 19, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ (කිලෝමීටර් 424 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 4586 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි බවට සැකකෙරෙන තවත් බහුදින ධිවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2022 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (2022 දෙසැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණය කරමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 424 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහ තුනක (13) පැකට් 94 ක් තුළ අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ පැකට් 98 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් අට දෙනෙකු (08) 2022 දෙසැම්බර් මස 14 වන දින අත්අඩංගුවට ගන්නා ලදි.

තවද, සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකුද (06) නාවික හමුදාව මඟින් එහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 4586.755 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව, මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 29 ත් 59 අත‍ර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් බිලියන 28.05 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

 අනුග්‍රාහය - www.navy.lk