සති අන්තයේ දී කාලගුණය අයහපත් වන ලකුණු

දෙසැම්බර් 23, 2022

පවතින වැසි සහ සුළං තත්ත්වය සති අන්තයේ දී (දෙසැම්බර් 24 සහ 25) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩි වීමක් අපේක්‍ෂා කෙරේ.

අද (23) උදෑසන නිකුත් කරන ලද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම අනාවැකියට අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 370 ක් දුරින් ස්ථානගත වී ඇති අතර මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි අපේක්‍ෂා කළ හැකි අතර අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එහි සඳහන් වේ.

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.