ආරක්‍ෂක ලේකම් ජාතික ශිෂ්‍යභට බලකායේ ප්‍රගතිය සොයා බලයි

දෙසැම්බර් 23, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (දෙසැම්බර් 23) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයසුන්දර (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබීය.

ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්‍ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන අතර, හැකි සෑම පාසලකම ශිෂ්‍යභට ඛණ්ඩයක් ස්ථාපිත කරමින් රට තුළ පාසල් ශිෂ්‍යභට සේවය විධිමත් කිරීමට අපේක්‍ෂා කරනු ලබයි. සිසු සිසුවියන්ට සමාජයේ දී ඇතිවන විශාල අභියෝගයන්ට මුහුණදීම සඳහා සූදානම් කිරීම සහ විනය ගරුක පුරවැසියන් බවට පත් කිරීම මෙමගින් අපේක්‍ෂා කරයි.

මෙම සංචාරය අතරතුරදී ජෙනරල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී බලකායේ ප්‍රගතිය, වත්මන් ක්‍රියාකාරකම් සහ ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීය. ශිෂ්‍යභට බලකා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජයසුන්දර ඇතුළු පරිපාලන නිලධාරීන් මෙහිදී ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව ආරක්‍ෂක ලේකම් දැනුවත් කරන ලදී.

මෙදින වැඩසටහනට රුක් රෝපණ වැඩසටහනක් ද ඇතුළත් වූ අතර සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහභාගි විය.