2004 සුනාමියෙන් විපතට පත්වූවන් සිහි කෙරේ

දෙසැම්බර් 26, 2022
  • ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් පුෂ්පෝපහාර දක්වයි

2004 වසරේදී 35,000කට අධික පිරිසක් මරුමුවට පත් කරමින් මුළු රටම කම්පනයට පත් කළ සුනාමි ව්‍යසනය සිදුවී 18 වැනි වසර සනිටුහන් කරමින් ‘ජාතික සුරක්‍ෂිතා දින’ උත්සවය අද (දෙසැ 26) පෙරවරු 8.45 ට පමණ ගාල්ල තෙල්වත්තේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියස පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවයට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සහභාගී විය.

2004 සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය දෙස් විදෙස් සියලු දෙනා අනුස්මරණය කරමින් මෙහිදී සර්ව ආගමික වතාවත් පැවැත්විණි.

දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, සම්භාවනීය ආරාධිතයින් සහ විපතට පත්වූවන්ගේ ඥාතීන් විසින් සුනාමියෙන් විපතට පත්වූවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීය.

උත්සවය සනිටුහන් කිරීම සඳහා පාසල් සිසුන් 500 ක් සඳහා පොත් කට්ටල බෙදාදීමද මෙහිදී සිදුවිය.

දරුණු සුනාමි ව්‍යසනයේ 18 වැනි සංවත්සරයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් පැවැත්වීට කටයුතු යොදා ඇති බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ පැවසීය.

මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ දකුණ බලා ධාවනය වූ ‘සමුද්‍රදේවි’ දුම්රිය හික්කඩුව පැරෑලිය ආසන්නයේදී මගීන් 1500ක් පමණ ප්‍රමාණයක් සමඟ සුනාමි රළ පහරට හසුවිය.

මෙම අවස්ථාවට රජයේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රාජ්‍ය නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.