මාලි රාජ්‍යයේ හි සාම සාධක රාජකාරින් හි නියුතු ශ්‍රී ලාංකික භට පිරිස් ඇගයේ

දෙසැම්බර් 30, 2022

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා ඇති 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ යුද හමුදා භට පිරිස් වෙත පසුගියදා ‘හමුදාධිපති ප්‍රශංසා’ සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.

ගාඕ ප්‍රදේශයේ පිහිටි 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය වෙත පැමිණි මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරල් සී.ජේ. කීස් මත්තිසේන් (Lieutenant General C.J. Kees Matthijssen) විසින් ශ්‍රී ලංකා භට පිරිස් විසින් ඉටු කරන ලද විශිෂ්ඨ, වෘත්තීය සහ කැපවූ කාර්ය භාරය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත මෙම‌ සහතිකපත්‍ර ප්‍රදානය කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.
 
මාලි හි සිටින ශ්‍රී ලංකා 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය විසින් ජීවිත අවදානම්, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ අවදානම් සහගත භූමි ප්‍රදේශයන්හී, ඉන්ධන බවුසර් 154 කට සහ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 115 කට ආරක්‍ෂාව සපයමින් කිලෝමීටර් 5346 කට අධික කලාපයක් තුළ මෙහෙයුම් දියත් කිරීම සඳහා අවශ්‍ය භඨකාර්ය සම්පාදන රථ සඳහා ආරක්‍ෂාව සැපයූ බව යුද හමුදාව සඳහන් කළේය.