මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එ‌රෙහිව තදබල පහරක් එල්ල කර තිබෙනවා - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 02, 2023

•    ආරක්‍ෂක අමාත්‍යාංශය සම්ප්‍රදායනුකූලව අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරයි  

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව ගෙන ඇති ඵලදායී ක්‍රියාමාර්ග මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දැඩි පහරක් එල්ල කර ඇති බවත් මෙවැනි වැළැක්වීමේ ක්‍රියාමාර්ග මගින් සමාජයට විශාල බලපෑමක් ඇති කර ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.   

පසුගිය කාලයේදී ඇති වූ සමාජ නොසන්සුන්තාවයේ දී මහජන ආරක්‍ෂාව සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කළ කාර්ය භාරය වෙනුවෙන් කෘතඥතාව පළ කරමින් ඔහු කියා සිටියේ රට දේශපාලනික වශයෙන් අස්ථාවර හා අරාජික වීම වැළැක්වීමට අවශ්‍ය සහයෝගය ඔවුන් ලබා දුන් බවයි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2023 වසර උදාව සහ නව වසරේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් අද (ජනවාරි 02) ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ චාම් උත්සවයේදී ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ නිදහස් හා සාමකාමී ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් අන්තවාදී කණ්ඩායම්, පාතාල කල්ලි සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සාර්ථකව මැඩපැවැත්වීමට හැකි වූ බවයි.

අප රට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය අර්බුදයෙන් මිදී ස්ථාවර තත්වයට පත් කිරීමට නම් රජයේ ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණින් ‌ෙම්  වසර පසුගිය වසරවලට වඩා ඵලදායී බවට පත් කිරිමට රාජ්‍ය සේවකයන් ලෙස අපගේ වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ඔහු පැවසීය.  

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරන ලදී. තවද මාතෘ භූමියට සාමය උදාකරලීම සඳහා ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාට ගෞරව දැක්වීමක් වශයෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

අනතුරුව පැමිණ සිටි අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම රාජ්‍ය සේවා ප්‍රතිඥාව දිවුරුම් දෙන ලදී.  

මහා සංඝරත්නය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි  චිත්‍රාණි ගුණරත්න මහත්මිය, අතිරේක ලේකම්වරුන්, ජාතික බුද්ධි ප්‍රධානී, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.