රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ

ජනවාරී 05, 2023

16 වන අතිඋතුම් බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සහ උන්වහන්සේ විසින් ඉටු කරන ලද උතුම් සේවයට ගෞරවයක් වශයෙන් අද (ජනවාරි 05) සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.

හිටපු පාප් වහන්සේ වයස අවුරුදු 95 දී වතිකානුවේදී අලුත් අවුරුදු උදාවේදී (සෙනසුරාදා) ස්වර්ගස්ථ විය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා බදාදා (04) කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය. එහිදී ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් සමඟ කෙටි සංවාදයක ද නිරත විය. ජනාධිපතිතුමන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක්ද තැබූ බව ජනාධිපති මාධ්‍ය සඳහන් කරයි.

2005 සිට 2013 දක්වා පාප් වහන්සේ ලෙස වසර අටක් සේවය කිරීමෙන් පසු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ මීට දශකයකට පෙර විශ්‍රාම ගියහ.

ඡායාරූප අනුග්‍රහය - ජනාධිපති මාධ්‍ය අංශය