සඳුදා දින පීසීආර් පරීක්ෂණ 13,831 ක් සිදුකරන ලදී

දෙසැම්බර් 08, 2020

අද (දෙසැම්බර් 08) පෙරවරු 06.00  න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 703ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 28,579 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

සියලුම රෝගීන් දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් 371 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 102 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, 64 ක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද දින තහවුරු කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරට සම්බන්ධ ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25,021 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 17,396 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

සඳුදා (07) දින PCR පරීක්ෂණ 13,831 ක් සිදු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිතව කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු  මිය ගිය වාර්තා විය.

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මෙරට කෝවිඩ් - 19 ආසාදිත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද වන විට ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 64 ක පුද්ගලයින් 6,878 ක් නිරෝධායනය වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.