ස්ථාන කිහිපයකට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි

දෙසැම්බර් 09, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ  වාර්තාව (දෙසැම්බර් 9) නිකුත් කරමින්  උතුර හා නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්  ඇති විය හැකි  බව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල සහ ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් වරුවේ හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ක් පමණ අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව  වාර්තාව තවදුරටත් දක්වයි.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මන්නාරමේ සිට හම්බන්තොට දක්වා කන්කසන්තුරෙයි , ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සවස් වරුවේ හෝ රාත්‍රියේදී දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්  වන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 30-40 අතර වේ.

කන්කසන්තුරෙයි සිට හම්බන්තොට දක්වා ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ තරමක් රළු  වනු ඇත. දිවයින අවට ඇති අනෙක් මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින  බව වාර්තාවේ දැක්වේ.