කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ මුළු ගණන 21,257 ක් දක්වා ඉහළට - කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 09, 2020

අද (දෙසැම්බර් 09) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 798 ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 29,377 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

හඳුනාගත්  ආසාදිතයින් අතරින් එක් අයෙක් විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයකු වන අතර අනෙක් ආසාදිතයින්  526 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 97 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ 53 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වශයෙන් වන  බව අද (දෙසැම්බර් 09) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරට සම්බන්ධ ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25,818 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 17,850 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (08) PCR පරීක්‍ෂණ 11,182 ක් සිදුකර ඇති අතර අද (09)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 454 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, විදේශයන්හි සිට පුද්ගලයින් 289 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර තවත් 269 දෙනෙකු පැමිණීමට නියමිතව ඇත.  

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු ගණන 21,257 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදා මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 62 ක පුද්ගලයින් 6,594 ක් හුදෙකලා කර ඇති බව හා 7,978 දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ මෙරටින් වාර්තා වී නොමැත.