සඳහිරු සෑයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ

ජනවාරී 28, 2023

අනුරාධපුර සඳහිරු සෑයේ නව පරිපාලන ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් අද (ජනවාරි 28) විවෘත කෙරිණි.

මහා සංඝරත්නයේ  ආශිර්වාද මධ්‍යයේ අද උදෑසන ආරක්‍ෂක ලේකම්වරයා විසින්  මෙම  නව ගොඩනැගිල්ල සදහිරු සෑයේ පරිපාලන කාර්යමණ්ඩලය වෙත භාර දෙන ලදි.

ශාස්ත්‍රපති පූජ්‍ය රාමඇල පියතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි ආගමික වතාවත් පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ද එක්ව සිටියහ.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ තාක්ෂණික විශේෂඥතාවයෙන් සහ ශ්‍රම දායකත්වයෙන්  සඳහිරු සෑයේ පරිපාලන කටයුතු එක ස්ථානයක සිට සිදූකිරීමට පහසුකම් සලසමින් මෙහි අංගෝපාංග ඉදිකර ඇත.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකරන ලද ‘සඳහිරු සෑය’ 2021 නොවැම්බර් මසදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ බැතිමතුන්ගේ වන්දනාමාන සඳහා සසුනට පූජා කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහ ව්‍යාපෘති නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.