සෙල්ල කතරගම ජනතාවට නාවික හමුදාවෙන් ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

ජනවාරී 30, 2023

සෙල්ල කතරගම ප්‍රදේශයේ පවුල් 450 කට පමණ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකරන ලදී.   

සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා විහාර පරිශ්‍රයේ දී ස්ථාපිත කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ (ජනවාරි 29) ජනතා අයිතියට පත් කළ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කරන ලද 951 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙය වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යුතුව ඉදිකරන ලද මෙම නව ජලපිරිපහදු මධ්‍යස්ථානය දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සමන් පෙරේරා විසින් විවෘත කරන ලදී.    

විවෘත කිරීමේ උත්සවය සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් මහා විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද හිමි ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ පැවැත්විණි.