ප්‍රදේශ රැසකට තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

ජනවාරී 31, 2023

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (ජනවාරි 31) තද වැසි අපේක්‍ෂා කෙරේ.

අද උදෑසන නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම අනාවැකියට අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර උතුරු, වයඹ පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි.

ගිණිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (31) උදෑසන වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 340 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 84.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු අක්ෂාංශ 7° ත් 8° අතරින් ගමන් කිරීමට ඉඩ ඇති බව එහි සඳහන් වේ.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව්, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.50-60 පමණ තද සුළං ඇති විය හැක.

පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 - 3.0 පමණ උසකින් වැඩි වීමේ හැකියාවක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්‍ෂා කළ හැකි බවද එහි සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.