රණවිරු දූ දරුවන් වෙත රැකියා අවස්ථා ලබාදීමට ජාතික වැඩපිළිවෙලක්

පෙබරවාරි 02, 2023
  • ජපානයේ රැකියා අවස්ථා සඳහා තරුණ සේවා සභාව වෙත හිමි වන සියයට තුනක ප්‍රතිශතයෙන් 1% ක් රණවිරු ප්‍රජාව වෙත

දේශිය හා විදේශිය වශයෙන් වෘත්තීය නිපුණතාවයෙන් යුතු රණවිරු තරුණ ප්‍රජාවක් බිහිකිරීම අරමුණු කොට ගෙන රණවිරු සේවා අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කිරීමට අපේක්ෂා කරනු ලබන ජාතික වැඩසටහන් මාලාවක සැලසුම් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාවේ දී පසුගිය දා පැවැත්වීය.

මේ යටතේ, වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම, නායකත්ව, ආකල්ප සහ මානසික සංවර්ධන වැඩමුළු පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, මූල්‍ය පහසුකම් සහ වෙළදපල හදුනාගැනීම සඳහා මඟපෙන්විම සහ දීප ව්‍යාප්තව තරුණ සේවා සභාව මගින් පවත්වනු ලබන නේවාසික පාඨමාලා සඳහා තෝරා ගැනීමේදී 5% ක ප්‍රතිශතයක් රණවිරු පවුල් වෙත ලබාදීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

තවද, විදේශිය රැකියා කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාඨමාලාවන් සදහා යොමු කිරීමේ දී ජපානයේ රජය මගින් ලබාදෙන රැකියා අවස්ථා සඳහා තරුණ සේවා සභාව වෙත හිමි වන සියයට තුනක ප්‍රතිශතයෙන් 1% ක් රණවිරු ප්‍රජාව වෙත ලබාදීම සඳහා එකඟවී ඇත.

අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ අවසන් වී නිවෙස් ගතව සිටින තරුණ රණවිරු දූ දරුවන් ඇතුළු රණවිරු ඥාතීන් වෙත අවස්ථාව සලසමින් ඒකාබද්ධ වැඩසටහන් පැවැත්වීමට මෙම සාකච්ඡාවේ දී සැලසුම් කර ඇති අතර ජාතික තරුණ සේවා සභාව මගින් දීප ව්‍යාප්තව දිවයින පුරා පවත්වනු ලබන සියළුම පාඨමාලා සඳහා විරුසර කාඩ් පත් හිමි රණවිරුවන් වෙනුවෙන් සියයට 25% ක වට්ටමක් ලබාදීමට ද නියමිතය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික), ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් එකගතාවය පළ බව රණවිරු සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය ටිරාන් ද සිල්වා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තුෂාර ජයසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පුහුණු රසිත දෙලපොළ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.