බදාදා දින පීසීආර් පරීක්ෂණ 14,336 ක්

දෙසැම්බර් 10, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 697 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 10) ප්‍රකාශ කරයි.

හඳුනාගත්  ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුද වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 357 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 219 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 ක් ඒ අතර වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26,512 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 18,392 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (දෙසැම්බර්  09) පීසීආර් පරීක්ෂණ 14,336 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර, ඔවුන් කොළඹ 15 සහ 10 යන ප්‍රදේශවල පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට තුළීන් වාර්තා වන මුළු  කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 144 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 64 ක පුද්ගලයින් 6,366 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.