රණවිරු පවුල් දෙකක් සදහා කෑගල්ලෙන් ඉඩම් ලබා දෙයි

මාර්තු 09, 2023

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ මංගලම ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ට ආසන්න ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද ( මාර්තු  9) දින පවත්වන ලදී.

ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන ඩබ්.කේ රණවන මහතා විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10.8 ක සහ පර්චස් 8.8 ක ඉඩම් කොටස් දෙකක් යුද හමුදාවේ ආබාධිත රණවිරු ප්‍රසන්න මංජුල රාජපක්ෂ සහ කංකානම් ගමගේ සෝමරත්න යන මහත්වරුන් වෙත ලබා දීම සිදු කරන ලදී.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඔප්පු අත්සන් කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ(විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.