සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 22,260 දක්වා ඉහළට

දෙසැම්බර් 11, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 538 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 11) ප්‍රකාශ කරන ලදී.

හඳුනාගත්  ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 68 ක් වන අතර, මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 469කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 304 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 ක් ඒ අතර වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල  පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26,981ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 18,353 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (දෙසැම්බර්  10 ) පීසීආර් පරීක්ෂණ 14,416 ක් සිදුකර ඇති අතර අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ 461 ක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර, කටාර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලින් අද උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් ගණන 137 ක් විය. තවද, මාලදිවයින, ඉතාලිය, එක්සත් රාජධානිය, මැලේසියාව සහ චීනය යන රටවලින් 208 ක් අද පැමිණීමට ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට නියමිතය.

වෛරසයෙන් සුවය ලැබූ  පුද්ගලයින් ගණන 22,260 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර ලබන කොරෝනා වයිරස් රෝගීන් ගණන 8,206 කි. 6,896 ක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 65 ක් යටතේ නිරෝධායනය කරනු ලැබේ.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර, ඔවුන් කොළඹ 02 සහ වැලිගම  යන ප්‍රදේශවල පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට තුළින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 146 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.