දෙස් විදෙස් පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන්
රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමේ

මාර්තු 24, 2023

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් දෙස් විදෙස් පරිත්‍යාගීලින්ගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය යුද, නාවික, ගුවන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවා වනිතා ඒකක සභාපතිනියන්ගේ සහභාගීත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්විය.

එංගලන්තයේ වෙසෙන ධම්මික සිරිපාල මහතා ගේ සම්බන්ධීකරණය මත එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ සිටින සරෝජනී මුණසිංහ මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය රණවිරුවන්ගේ දූ දරුවන් හට රණවිරු සේවා අධිකාරියේ මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් දරුවකුට රුපියල් 5000 බැගින් දරු දැරියන් දහසය දෙනෙකු සඳහා වසරක කාලයකට යටත්ව මෙම මූලික ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරනු ලබයි.

මෙම ශිෂ්‍යත්ව පිළිගැන්වීමේ වැඩසටහන සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ජානකී ලියනගේ මැතිණිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය,  මාලා ළමාහේවා මැතිණිය, ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනිය, චාමිනී පතිරණ මැතිණිය, පොලිස් සේවා වනිතා  ඒකකය නියෝජනය කරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මැතිණිය ඇතුළු රණවිරු දරු දැරියන් දෙමව්පියන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් සහභාගි විය.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන සම්පත් කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පරිත්‍යාගශීලින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.