වෙරළ පිරිසිදු කිරීම කාර්යක්‍ෂම කිරීමට නාවික හමුදාව වෙත BTS යන්ත්‍රයක්

මාර්තු 27, 2023

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත යාන්ත්‍රික වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් (Beach Tech Sweepy) භාරදීම පසුගියදා (මාර්තු 25) ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

2021 වසරේ අනතුරට ලක්වූ X-Press Pearl යාත්‍රාව හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයට සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් යාන්ත්‍රික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු 12 වන දින මට්ටක්කුලිය, කාක දුපත  වෙරළ තීරයෙන් ආරම්භ කරන ලද බව ශ්‍රී ලංකා නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තවත් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු එක්ව සංචාරක කර්මාන්තයේ ආකර්ෂණයට ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වූ මෙම වෙරළ තීරයේ කසළ ඉවත් කිරීම සඳහා මෙම වැඩසටහන මෙහෙයවනු ලැබේ.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහ සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.