ත්‍රිවිධ හමුදාවන් වෙත එක්සත් ජනපදයෙන් හමුදා උපකරණ

මාර්තු 28, 2023

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් සහ සාම සාධක මෙහෙයුම් සඳහා අවශ්‍ය යුද උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සංවිධානය කර තිබූ උත්සවයකදී ඊයේ (මාර්තු 27) ශ්‍රී ලංකා හමුදාවන් වෙත ප්‍රදාන භාර දෙන ලදි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ටෝනි ඇන්තනි මහතා විසින් ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සංකේතාත්මකව මෙම යුද උපකරණ ප්‍රදානය කරන ලදි.

එක්සත් ජනපද - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අතිගරු ජූලි චන්ග් මැතිනිය සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මගපෙන්වීමෙන් මෙම උපකරණ ප්‍රදානය සිදුවුණු බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කළේය.

යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන, බටහිර නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් පී.එස්. ද සිල්වා, ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න සහ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.