ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම,
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක

මාර්තු 29, 2023

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා පිටත්ව යාමට පුහුණුවීම්වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම පසුගිය සිකුරාදා (24) දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.

සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ කාර්යභාරය පිළිබඳ ඔවුන් දැනුවත් කරනු ලැබීය.

මෙම සංචාරය සඳහා සහභාගී වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන් විසින් පිළිගනු ලැබීය. එහිදී සහභාගී වූ පිරිස දැනුවත් කිරීමේ සහ නිරීක්‍ෂණ කටයුතු සඳහා යෙදවීමේ කටයුතු විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් අසංග පෙරේරා ගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි. මෙම සංචාරය සඳහා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ උපායමාර්ගික සහ හැකියාවන් සැලසුම් අංශයේ ජේම්ස් වික්ටර් ඩී. රොකෝල් (James Victor De Rcole) මහතා, යූ 7 පුහුණු සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ඇගයීම් අංශයේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ලෝරන්ස් කපිනා (Colonel Lawrence Kapina), නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පිරිස් පාලන කටයුතු සම්බන්ධ නිලධාරි ලුතිනන් කර්නල් රජීව් (Lieutenant Colonel Rajeev), මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ පුපුරණ ද්‍රව්‍ය ක්‍රියාකාරි අංශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරි මාර්ක් ෆ්ලඩ් (Mark Flood) මහතා සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන උපකරණ ගබඩා පාලක නිලධාරි සත්වින්දර් සිං පෝල් (Satvinder Singh Paul) මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ‘3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ’ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සංග්‍රාමික ඉංජිනේරු සහ වෛද්‍ය හැකියාවන් මෙන්ම මෙහෙයුම් සඳහා සූදානම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය නිර්මාණය කරනු ලැබූ විශේෂ ඉදිරිපත් කිරීමක් සහ නිරූපණයක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ හිටපු අණදෙන නිලධාරි කර්නල් දිනේෂ් බුලත්සිංහල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟපෙන්වීම සහ සහයෝගය මත මෙම ඉදිරිපත් කිරීම් සාර්ථකව සිදුකරගැනීමට හැකියාව ලැබිණි.

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ හමුදා සාමාජිකයන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි ගුණාත්මකභාවය, ප්‍රමිතීන් සහතික කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරි කටයුතු සඳහා සූදානම් කර ඇති අතිරේක ‘3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම’ හි මෙහෙයුම් සූදානම තක්සේරු කිරීමේ වැඩසටහන් කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණු නිලධාරීන් සමග ඒකාබද්ධව නිරීක්‍ෂණය කරනු ලැබූහ. මීට ප්‍රථම ඔවුන් ඇඹිලිපිටිය යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සහ උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරත වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම මෙහෙයුම් සඳහා පවතින සූදානම, බලඇණි පුහුණු කිරීමේ ප්‍රමිතීන් පරීක්‍ෂා කිරීම සහ මෙහෙයුම් කටයුතුවල අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව නියමකර ඇති කොන්දේසි වලට අනුව සිදුකරනු ලබන පුහුණුවීම් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම මෙම සංචාරයේ නිරත වූහ.

අනුග්‍රහය - www.army.lk