ඉන්ධන බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සහ පොලිසියේ සහාය

මාර්තු 30, 2023

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අඩාල වූ කොලොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පර්යන්තයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට  අඟහරුවාදා (28) පස්වරුවේ ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් විසින් සහය ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ගවලට අනුව, බටහිර ආරක්‍ෂක සේනාව යටතේ  ඇති 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හා  2 වන (සේව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉන්ධන බෙදා හැරීම සඳහා සහාය වූ අතර  14 වන පාබල සේනාංකයේ  ක්‍ෂණික ප්‍රතිචාර කණ්ඩායම්වල භට පිරිස් තෙල් පිරිපහදුව සහ ඉන්ධන බෙදා හැරීමේ බවුසර් සඳහා ආරක්ෂාව සැපයූ අතර ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ වාහන ගමනාගමනයට පහසුකම් සැලසීය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියා කරමින්  බටහිර ආරක්ෂක සේනා ආඥාපති, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ හා  144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ  මාර්ගෝපදේශ යටතේ, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ  හා  2 වන (සේව්) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් ඉන්ධන බවුසර් සඳහා ආරක්ෂාව සපයන ලද බව  එහි සඳහන් වේ.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා පොලිසිය මෙ‌ම ක්‍රියාන්විතය  සදහා සහාය ලබා දී ඇති බවද එහි සඳහන් වේ.