ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාව වර්තමානයට ගැළපෙන පරිදි
සංශෝධනය කිරීමට අවධානය - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

මාර්තු 31, 2023

ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාව වර්තමානයට ගැළපෙන පරිදි ඉදිරියේදී සංශෝධනය කරන අතර, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයට අමතරව වෙනත් ස්ථානයක ශිෂ්‍යභටයින් සඳහා පුහුණු පහසුකම් පුළුල් කිරීමට අවධානය යොමු කරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.

ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් සමඟ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මාර්තු 31) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ පැවති හමුවකදී මෙම අදහස් පළ කළේය.

යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ත්‍රස්තවාදී ගැටුම් පැවති සමයේ සහ පශ්චාත් යුධ ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ඉටුකරන ලද වටිනා සේවාවන් අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක් කරන ලදි.

විනයගරුක සහ ඵලදායි පුරවැසියෙකු බවට පත්කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණුව සහ එහි වැදගත්කම පිළිබඳව අවධාරණය කල අමාත්‍යවරයා දැනට පුහුණුව සඳහා දමිළ සහ මුස්ලිම් සිසුන් සඳහා වෙන් කර ඇති අවස්ථාවන්ට අමතරව වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියාකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සුහද කතාබහකින් අනතුරුව ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ෆොන්සේකා මෙම අවස්ථාව සනිටුහන් කිරීමට සහ සුහදත්වයේ සංකේතයක් ලෙස පැමිණ සිටි උසස් නිලධාරීන්හට සමරු තිළිණ ප්‍රදානය කළේය.

ජාතික ශිෂ්‍යභට බළකායේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.