ශ්‍රී ලංකා - ඉන්දීය නාවික අභ්‍යාසය (SLINEX – 23) කොළඹින් ආරම්භ වේ

අප්‍රේල් 04, 2023

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික අභ්‍යාසයේ වරාය අදියර සඳුදා (අප්‍රේල් 3) ආරම්භ වූ අතර එය බදාදා (අප්‍රේල් 5) දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍යවලට අනුව, ඉන්දීය නාවික නෞකා දෙකක් වන ‘INS Kiltan’ සහ ‘INS Savitri' ඒකාබද්ධ අභ්‍යාසවලට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය සදහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් මෙලෙස Corvette වර්ගයේ සහ Offshore Patrol Vessel වර්ගයේ ඉන්දීය යුද නෞකා දෙක සමඟ අභ්‍යාසවලට සහභාගී වේ.

මීට අමතරව, සෙනසුරාදා (මාර්තු 8) අවසන් වීමට නියමිත සමුද්‍ර අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාවේ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් එක්වීමට නියමිත අතර මෙම අභ්‍යාසයේ මුහුදු අදියර අප්‍රේල් මස 06 වන දින සිට 08 වන දින දක්වා කොළඹට ඔබ්බෙන් මුහුදේදි පැවැත්වීමට නියමිතව ඇත.

මෙම අභ්‍යාසයේ ආරම්භය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී පැවැත්විණි.

මෙහි මුහුදු අදියරේදී මෙවර වෙඩි තැබීමේ අභ්‍යාස, සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම, මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස, නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම, ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම සහ ගුවන් යානා යොදා ගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම් අභ්‍යාස මෙන්ම නෞකා හා යාත්‍රා ගුවනින් සෝදිසි කිරීමේ අභ්‍යාස සිදුකිරීමට ද නියමිතව ඇත.

එමෙන්ම, මෙම අභ්‍යාසයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ සහ යෝග අභ්‍යාස සඳහා දෙරටේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතව ඇති අතර, ඉන්දීය නෞකාවන්ට අයත් නැව් මුළුවන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිත බව එහි සඳහන් වේ.

තවද, අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ‘INS Kiltan’, ‘INS Savitri’ යන නෞකාවන්හි අණදෙන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.