රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරයක

අප්‍රේල් 05, 2023

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

අද උදෑසන නැවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගි විය.

INS Kiltan සහ INS Savitri යන නෞකා දෙක කොළඹදී පැවැත්වෙන වාර්ෂික ශ්‍රී ලංකා - ඉන්දියා නාවික අභ්‍යාස (SLINEX) -23 සඳහා සහභාගි වීම සඳහා සඳුදා (03) දිවයිනට පැමිණියහ.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්  ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජිතයා සමඟ නෞකා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එම නෞකාවල අණදෙන නිලධාරීන් ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී සිදුකිරීමට නියමිත ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කළහ.

ඔවුන් එම නැව්වල හැකියාවන් සහ තාක්‍ෂණික විස්තර ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත විස්තර කළ අතර, මෙම සංචාරයේදි ඉන්දීය නෞකා දෙකේ නෞකා කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

රාජ්‍ය අමාත්‍යවරයා නෞකා නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවකින් අනතුරුව සිය සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් (Vikas Sood) ද සහභාගී විය.