ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23)
සාර්ථකව නිමාවට පත් වෙයි

අප්‍රේල් 10, 2023

2023 අප්‍රේල් මස 03 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 අප්‍රේල් මස 08 වන දින සාර්ථකව නිමාවට පත්විය.

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීත්වය හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය සඳහා මෙවර ශ්‍රි ලංකා පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් සහභාගි විය. මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය පාර්ශ්වය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan හා INS Savitri යන යුද නෞකාවන් සමඟ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සහභාගි විය.

මෙම අභ්‍යාසය වරාය සහ මුහුදු අධියර වශයෙන් අධියරයන් දෙකක් (02) යටතේ පැවැත්වූනු අතර, එහි වරාය අධියර 2023 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත්, මුහුදු අධියර අප්‍රේල් මස 06 වන දින සිට 2023 අප්‍රේල් මස 08 වන දින දක්වා බටහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙහි මුහුදු අධියරේදී වෙඩි තැබීමේ අභ්‍යාස (GUNEX), සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස (SAREX), නෞකා ‍සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම (SCREENEX), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (RAS Approaches), මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam Fuelling Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX), ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම (VERTREP) සහ ගුවන් යානා යොදා ගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම් අභ්‍යාස මෙන්ම නෞකා හා යාත්‍රා ගුවනින් සෝදිසි කිරීමේ අභ්‍යාස, නෞකා මතට හෙලිකොප්ටර් යානා ‍ගොඩබැස්සවීමේ අභ්‍යාස ඇතුළු අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලදී.

එමෙන්ම, මෙම අභ්‍යාසයට සමගාමීව ‍දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ, යෝගා අභ්‍යාස සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහා දෙරටේ නැව් මුළුවන් සහභාගී වූ අතර, ඉන්දීය නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් විසින් බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමද සිදු කෙරිණි.

තවද, මෙම අභ්‍යාසයට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර, එම නෞකාවන් නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන‍්ගේ පවුල් වල සාමාජිකයන්, පාසැල් ළමුන්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් හට මෙන්ම සිවිල් මහජනතාවටද අවස්ථාව හිමි විය.

මෙම අභ්‍යාසයේ වරාය අධියරට සමගාමීව පුත්තලම, ග‍ඟේවාඩිය පිහිටි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ මානූෂීය ආධාර සහ ආපදා සහන පුහුණු සමාකෘතිය මඟින් සිදු කෙරුණු විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දීය නාවික හමුදා සාමාජිකයන් එක්වූ අතර, එහිදී මානූෂීය ආධාර සහ ආපදා සහන සම්බන්ධ දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි. තවද, කටුනායක ගුවන් හමුදා කදවුරේදි පැවති Joint Heli Rappelling පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දීය නාවික හමුදා සාමාජිකයන්, විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සහභාගි විය.

මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් කලාපීය සමුද්‍රීය පාර්ශවයන් අතර වැඩිදියුණු වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය තුළින් ඉදිරියේදී සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අනුග්‍රහය - www.navy.lk