ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

අප්‍රේල් 12, 2023

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින්, සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදු කිරීම වෙනුවෙන් ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කිරීමටත්, නාවික හමුදාවේ පුහුණු මානව සම්පත සහ තාක්ෂණික හා ශිල්පීය දැනුම, රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යෙදවීමටත් නාවික හමුදාව නිරතුරුව කැපවී සිටියි.

ඒ අනුව, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් නාවික හමුදාවෙන් සිදුකල ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ කටයුතු නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින ආරම්භ කෙරිණි.

මේ යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මඟින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු සහ රේගු නිෂ්කාෂණ කටයුතු සඳහා අවශ්‍ය මගී පර්යන්තයක් ඉදිකිරීම මෙලෙස නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරෙන අතර, මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සිදු කෙරේ.

නාවික හමුදා දායකත්වයෙන් ඉදිකෙරෙන වර්ග මීටර් 1000 ක පමණ වපසරියකින් යුත් මගී පර්යන්තය ඉදිකිරීම සඳහා නාවික හමුදා පුහුණු ශිල්පීන් 60 ක පමණ පිරිසක් නාවික හමුදා සිවිල් ඉංජිනේරු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ දිනවල කඩිනමින් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර, නොබෝ දිනකින් එහි වැඩකටයුතු සම්පූර්ණ කර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මෙහෙයුම් කටයුතු වෙනුවෙන් භාරදීමට නියමිතව ඇත.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන මිත්‍රශිලී රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මෙම නවමු මගී ප්‍රවාහන යාත්‍රා ව්‍යාපෘතිය කඩිනමින් යාථාර්තයක් කිරීම සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන දායකත්වය තුලින්, මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට පමණක් නොව, මෙම ව්‍යෘපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත හිමිකරදීමටද හැකියාව ලැබෙනු ඇත.

අනුග්‍රහය - www.navy.lk