මාලදිවයින් තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

අප්‍රේල් 12, 2023

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු අලි ෆායිස් (Ali Faiz ) මැතිතුමා  ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අප්‍රේල් 12) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ෆායිස් මැතිතුමා අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත වූහ.   

මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා දෙරට අතර දීර්ඝ කාලීනව පවතින සුහද සබඳතාව සිහිපත් කළ අතර මාලදිවයින සැමවිටම ශ්‍රී ලංකාවට මිත්‍ර රාජ්‍යයක් බව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වූ මහ කොමසාරිස්වරයා මාලදිවයිනේ සැමකල්හි මිතුරෙකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව වෙත සිය කෘතඥතාව ද පළ කළේය.

මෙම‌ හමුව සංකේතවත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.  

මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හසන් අමීර් (Hassan Amir) ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.