සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයින් 570 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

දෙසැම්බර් 12, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 762 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 31,374 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 12 ) ප්‍රකාශ කරන ලදී.

ඊයේ (දෙසැම්බර්  11)  මෙරටින් හඳුනාගත්  ආසාදිතයින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 445 ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 135 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 36 ක් ද වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව  27 ,743 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 19,423 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (දෙසැම්බර්  11) පීසීආර් පරීක්ෂණ 13,864 ක් සිදුකර ඇති අතර අද උදෑසන 06.00 ට අවසන් වූ පැය 24 තුළ 570 ක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 523ක් වන අතර ඔවුන්ගෙන් 127ක් කටාර්, 96 ක් ඉන්දියාව සහ 300ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ  සිට පැමිණි අයවේ. ඔවුන් නිරෝධායනය සදහා යොමුකිරීමට නියමිතය.

වෛරසයෙන් සුවය ලැබූ  පුද්ගලයින් ගණන 22,830 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර ලබන කොරෝනා වයිරස් රෝගීන් ගණන 8,397  කි. ඔවුන්ගෙන් 6,810 ක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 66 ක් යටතේ නිරෝධායනය කරනු ලැබේ.

පසුගිය පැය 24 තුළ එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට තුළින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 147 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.