ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 19, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සම්ප්‍රදායික උත්සවයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශයේ සුභසාධන අංශයේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් ඇතුළත්ව සංවිධානය කළ ‘බක්මහ උලෙළ’ අද දින අමාත්‍යාංශ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රාණි ගුණරත්න මහත්මිය සහභාගි වූහ.

සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ක්‍රීඩා සඳහා නිශ්චිත වයස් කාණ්ඩ කිසිවක් නොමැති බැවින් අමාත්‍යාංශ සියලුම කාර්ය මණ්ඩලය ක්‍රීඩා සඳහා උද්යෝගිමත්ව සහභාගීවීම, මනා සංවිධානය, සම්බන්ධීකරණය සහ විනිසුරුවන්‌ගේ දායකත්වය ද උත්සවයේදී කැපී පෙනුණි.

මෙම උත්සවය අතරතුර සංස්කෘතික නැටුම් සහ සංගීත වැඩසටහන් ද පවත්වන ලදි.

සාම්ප්‍රදායික සිංහල ඇඳුමින් සැරසී ආකර්ශණීය ලෙස පෙනී සිටි තරුණ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් සහභාගී වූ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරගයද උත්සවය වඩාත් අලංකාර කලේය.

දිනයේ කටයුතු අවසන් කරමින් ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග පිරිනැමීම ජනාධිපතිතුමන් සහ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් විසින් සිදුකරන ලදි.