ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Navy Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය සාර්ථකව නිමා වෙයි

අප්‍රේල් 24, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Navy Cup Sailing Regatta - 2023’ පසුගිය සති අන්තයේ (අප්‍රේල් 22 සහ 23) කොළඹ ගාලු මුවදොර පිටියට නුදුරු මුහුදෙ‍් දී සාර්ථකව පවත්වන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ අධීක්‍ෂණය යටතේ දෙදිනක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය Optimist Class, ILCA 4 Class, ILCA 6 Class, ILCA 7 Class, Wind Surfing, Enterprise Class and GP 14 Class වශයෙන් කාණ්ඩ හතක් යටතේ පැවැත්විණි.

දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණය කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සත්කාරකත්වය දැරූ මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා රුවල් යාත්‍රා 48 ක් එක්වූ අතර ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු සහභාගී විය.
 
ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ජයග්‍රාහකයන් හට සම්මාන ප්‍රදානය කෙරිණ.

මෙම තරඟාවලියේ සමස්ත ශූරතාවය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මැතිණිය මොනිකා ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාධිපතිවරුන්, රුවල් යාත්‍රා නරඹන්නන් රැසක්ද එක්ව සිටියහ.