ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරීන්ගෙන් පැසසුම්

දෙසැම්බර් 12, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම අවශ්‍ය වෙලාවේදී,  වෘත්තීයමය සුදානම මත ක්‍රියාත්මක වෙමින්  මෑතකදී දැක්වූ දායකත්වය වෙනුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ (MINUSCA)  නිලධාරීන්ගේ  පැසසුමට ලක්කරන ලදී.

MINUSCA හි යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායමට අයත් අංක 62 ගුවන් යානය අවතැන් වූවන් 2000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා දියත් කරන ලද මෙහෙයුමකට සම්බන්ධ විය.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නැගෙනහිර කොටසේ බොරාමටා ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකට සැම්බියානු විශේෂ බලකායන් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම සම්බන්ධ විය.

කැරලිකරුවන් කණ්ඩායමක් 2020 දෙසැම්බර් 1 වන දින බොරාමටා හි කෙචේ ගම්මානයට පහර දී එහි නිවෙස් ගිනිබත් කිරිම නිසා අහිංසක මිනිසුන් 2000ක් පමණ අවතැන්ව සිටියහ.

මෙම ගම්මානය එක්සත් ජාතීන්ගේ ආසන්නතම භූමියෙන් කිලෝමීටර 100 කට වඩා දුරින් පිහිටා ඇති අතර දුෂ්කර  මාර්ග තත්වයන් හේතුවෙන් එම ස්ථානයට පැමිණීමට භට පිරිස් සදහා දින 3 කට වඩා ගත විය.

අංක 62 ගුවන් යානය විසින් බුද්ධි, නිරීක්ෂණ සහ සෝදිසිකිරීමේ ගුවන් ගමන් 8 ක් සහ සැම්බියානු භටයින්ට සහය දැක්වීම සඳහා ලබා දී ඇති ස්ථානවලට නැවත පිරවීමේ ගුවන් ගමන් 3 ක් සිදු කර ඇති අතර හෙලිකොප්ටර් දෙකක් බිරාවෝ වෙත ගෙන යන ලදී.