පවතින වැසි හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

මැයි 02, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  (මැයි 02) නිකුත් කළ නවතම වාර්තාවේ සදහන්  කරයි.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත්  මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල  හා යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි එම ප්‍රදේශවල ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර යන ප්‍රදේශ වලටද මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ කෑගල්ල ඇතුළු ස්ථාන කිහිපයකට 1 මට්ටමේ (කහ) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.