ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 03, 2023
  • ඉන්දියාවේ පුහුණු පාඨමාලා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය හැකියාවන් ඉන්දීය ගුවන් හමුදාපති අගය කරයි.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞද්රි අද (මැයි 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අද පෙරවරුවේ කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී දෙරට අතර පවතින සමීප සබඳතා පිළිබඳව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දියාවේ පුහුණු පාඨමාලා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉහළ වෘත්තීය හැකියාවන් මෙහිදී එයාර් චීෆ් මාර්ෂල් චෞද්රි ගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා පුහුණුවීම්වලදී සහ තාක්‍ෂණික හුවමාරුවලදී නව මංපෙත් සෙවිය යුතු බව ද ඔහුගේ අදහස විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් යන නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.