මුලතිව් හි යුද්ධ හමුදා භට පිරිස් ලේ පරිත්‍යාග කරති

මැයි 04, 2023

වෙසක් පොහොය නිමිත්තෙන් පසුගියදා (මැයි 01) සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනකදී මුලතිව් හි යුද්ධ හමුදා භට පිරිස් විසින් ලේ පරිත්‍යාග කරන ලදි.

මුලතිව් ආරක‍්ෂක සේනා මුලස්ථාන කඳවුරු පරිශ්‍රයේ මුලතිව් දිස්ත්‍රික් රෝහල් බලධාරීන්ගේ සහය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී මුලතිව් ආරක්‍ෂක සේනාව යටතේ රාජකාරින්හි නියුතු යුද්ධ හමුදා භටපිරිස් 120 කට අධික ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව 592 පාබල බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පරිදි මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේ දී ඩෙංගු මර්දන වැඩසටහනක්ද පසුගියදා පවත්වන ලදී.