තවදුරටත් තද වැසි ඇති විය හැකි බවට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මැයි 08, 2023

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 08) විසින් නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවේ සඳහන් වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලටද විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් බහුදින යාත්‍රා සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම පද්ධතිය ක්‍රමක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන අතර, ඉදිරි දින කිහිපය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇත.

(05N -10N) සහ (90E – 100E) මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර, එය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැක. මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් (50-60) විය හැකි අතර, එය (01N - 04N) සහ (85E - 92E) මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැක. මෙම මුහුදු ප්‍රදේශය තුළ සුළඟ ඉතා රළු වන බවද එහි සඳහන් වේ.

ඉහත මුහුදු ප්‍රදේශ වල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, මුහුද ඉතා රළු වේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගාල්ල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.