ඉරිදා දින තවත් PCR පරීක්‍ෂණ 15,239 ක්

දෙසැම්බර් 14, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 655ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32,789 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 14) ප්‍රකාශ කරන ලදි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 5 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 444ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 75 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 41 ක් ද වේ. වෙනත් දිස්ත්‍රික්කයන්ගෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 90 කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 29,148 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 20,385 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

පසුගිය පැය 24 තුළ සම්පූර්ණ සුවය ලබා පුද්ගලයින් 489 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 92 ක් වන අතර ඔවුන්ගෙන් 42 ක් කටාර් සහ 50 ක් සෞදි අරාබියේ සිට පැමිණි අයවේ. ඔවුන් සිය‍ලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතය.

අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක පුද්ගලයින් 7,211 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.  

තවද PCR පරීක්‍ෂණ 15,239 ක් ඊයේ (දෙසැම්බර් 13) සිදුකර ඇත.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර, ඔවුන් කොළඹ 10, වත්තල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට තුලින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගියේය.