නික්ම යන බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 31, 2023

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී කරන ලද කර්නල් පෝල් ක්ලේටන් සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමුගැනීම සනිටුහන් කරමින් අද (මැයි 31) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

කර්නල් ක්ලේටන් අද පස්වරුවේ ආරක්‍ෂක උපදේශක ලෙස අභිනවයෙන් පත්වන ලද කර්නල් ඩැරන් වුඩ්ස් සමඟින් ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් නිලධාරීන් දෙදෙනාම ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

මෙම සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා කර්නල් ක්ලේටන්ගේ සේවය ඇගයීමට ලක් කල අතර, ඔහුගේ සේවා කාලය තුළ දෙරට ත්‍රිවිධ හමුදාවන් අතර මිත්‍ර සබඳතා පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගීතාවයට ස්තුතිය පළ කල අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභාශීංෂණ එක් කළේය.

නව ආරක්‍ෂක උපදේශක කර්නල් වුඩ්ස් පිළිගනිමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට තමන් අපේක්‍ෂා කරන බවයි.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගී විය.