ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 06, 2023

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි අද (ජුනි 05) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම හමුවේදී ජෙනරල් ගුණරත්න සහ කර්නල් සෆ්රානි අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු අවස්ථා තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා පවත්වන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ සීමාසහිත ග්ලෝපැක් සමාගමේ සභාපති සෙවි ජෝසෆ් යන නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.